ඇනගත් කලු ජනවාරිය සහ වරද්දාගත් ආණ්ඩුව
ඕනෑම ව්‍යාපාරයක් සමාජ ව්‍යාපාරයක් බවට පත්වන්නේ ජනතාව සමඟ සහ සම්බන්ධ වු විටය.එනම් ජනතාවගේ ඕනෑ එපාකම් සමඟ බද්ධ වු විටය. එමෙනම එකී ව්‍යාපාර ඇනගන්නේද සැබෑ ජනමතය නියෝජනය නොකිරීම නිසාවෙනි. අද සංවිධානය කරන ලද “කලු ජනවාරිය” ද එවැනි ව්‍යාපාරයක් බවට පත්වීම කණගාටුවට කාරණයකි. සැබවින්ම ලංකාව තුල මාධ්‍යයට අනේකවිද දුක්පීඩාවලට මුහුණ පෑමට සිදුවේ.නමුත් ඒ අතර තම වගකීම හරිහැටි ඉටුකරන, මාධ්‍ය සදාචාරයට පටහැණි නොවන ලෙස ක්‍රියාකරන මාධ්‍යය ඇත්තේ කුඩා ප්‍රමාණයකි. රජයේ මාධ්‍යය නම් දිනපතා රජයට කඩේයයි.ඊට රුකුල්දෙන පෞද්ගලක මාධ්‍යද ඇත. එක් පුද්ගලයන්ට වෙන් වෙන්ව කඩේ යන මාධ්‍යයද ඇත. අපට ඇති ප්‍රශ්ණය නම් එවැනි මාධ්‍යය රෙදි ඇදගෙන මාධ්‍යය නිදහස ඉල්ලන්නේ කෙසේද යන්නයි.
එක් පාර්ශවයකට කඩේ යනවිට අනෙක් පාර්ශවයේ උදහසට ලක්නොවී සිටීම තරමක් අපහසු කාරණයකි. මෙවර කලු ජනවාරියට සිදුවුයේ එවැනි සංසිද්ධියකි. ලංකාවේ මාධ්‍යය මර්ධනය පිළිබඳව කථා කරන විට නිතර මතකයට එන සිද්ධි ගණනාවක් ඇත. විශේෂත්වය නම් ඉන් බහුතරයක් සිදුවී ඇත්තේ ජනවාරි මාසය තුලයි.එකී කාරණය හේතුවෙන් ජනමාධ්‍යය සංවිධාන එකමුතුව අද (25) කැදවු විරෝධතාව “කලු ජනවාරිය” නම් විය. ඊට සියලු මාධ්‍ය එකමුතුවන්ට සහ සිවිල් සංවිධානවලට ආරාධනා කර තිබුණි. ආණ්ඩුවත් ඊට නහුතෙට බයවුයේ ඊට ජන අරගල ව්‍යාපාරයත්, රනිල් සහ සජිත් පාර්ශව දෙකම සහභාගි වේයයි යන පුර්ව නිගමනයෙනි.සැබවින්ම එසේ සැලසුම් කර තිබුණි. එපමණක් නොව ඊට එරෙහි වෙනත් උදඝෝශණයක්ද සංවිධානය කර කලු ජනවාරියට එරෙහි උසාවි නියෝගයක්ද ලබාගත්තේය. එම නියෝගයේ සදහන්ව තිබුණේ මාර්ගය අවහිර කිරීමත්, පෙළපාලියෙන් ගමන් කිරීමත් තහනම් කරන කරුණු කිහිපයකි. ඉන් ආණ්ඩුවේ බයවීම අපූරුවට කියාපායි.මන්ද කලු ජනවාරිය යන නම ඇසීමෙන් ආණ්ඩුවේ උන්දැලාගේ සිතට ආවේ කලු ජුලියයි. එමනිසා ආණ්ඩුව විසින්ද මෙය නැවැත්වීමට කළහැකි සියලු දේ කළේය.උදේ සවස ඊට එරෙහි පුලුල් ප්‍රචාරණයක් දුන්නේය.
නමුත් රජය සිතූ ලෙසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට මාධ්‍ය එකමුතුවට නොහැකිවිය. ඔවුන් අපේක්ෂා කළේ ජන අරගල ව්‍යාපාරයේ පොදියක් ඊට සහභාගී වේයැයි කියාය.නමුත් එහි ප්‍රධාන කිහිපදෙනෙක් හැරුණු කොට බලාපොරොත්තු වු ජනකාය නොආවේය. රනිල් පාර්ශවයෙන් මංගල, හර්ෂ සමඟ කිහිපදෙනෙක්ද, සජිත් පාර්ශවයෙන් ශිරාල් ලක්තිලක මහතා සහභාගී විය. සම්පුර්ණ සංඛ්‍යාව 150ක් හෝ 200ක් වන්නට ඇත. රජය මීට බය වුයේ නම් වැරදි පුර්ව නිගමනයන්ට යාමෙනි.නමුත් මාධ්‍යය සංවිධානවලට මෙය අතිසාර්ථක කර ගැනීමට නොහැකි වුයේ ඇයි දැයි සොයා බැලිය යුතුය.ඒ අප පළමුව සදහන් කළ ජනතා අවශ්‍යතා සමඟ නොපෑහීම හේතුවෙනි.ඊට උදාහරණ කිහිපයක් දැක්විය යුතුමය.
මෙම උද්ඝෝෂණයේ ප්‍රමුඛ සටන් පාඨ අතර ඊ නිවුස් වෙබ් අඩවියද විය.එමෙන්ම සිරස ප්‍රහාරයද විය.ලංකා ඊ නිවුස් යනු කලක් යහපත් මාධ්‍යයක්ව තිබුණද දැන් වෛශ්‍යාවකගේ ගණයට වැටී ඇති බව මීට පෙර ලිපියක දැක්වීය.
මේ ලින්ක් එක බලන්න – වෛශ්‍යාවක වු ඊ නිවුස්
එකී කාරණා හේතුවෙන් මාධ්‍යය සදාචාරය තුට්ටුවකට මායිම් නොකරන මාධ්‍යයක් බවට ඊ නිවුස් පත්ව ඇත.විශේෂයෙන් අසත්‍යය ප්‍රවෘත්ති පලකිරීමෙන් එම පුවත් වෙබ් අඩවිය පිළිබඳ වු විශ්වාසය බිඳ වැටී ඇත.එවැනි මාධ්‍ය මර්ධනය කළයුතු යැයි හෝ එවැනි මාධ්‍යය මර්ධනයට එරෙහි වියයුතු නැතැයි ජනතාවට සිතී මෙම උද්ඝෝෂණයට සහභාගී නොවුවා වියහැකිය.මෙම උද්ඝෝෂණයට ඌණ ජන සහභාගීත්වයක් ලැබීමට සිරසද වගකිව යුතුය.මන්ද රනිල් පාර්ශවය ඊට වැඩි සහයෝගයක් නොදීමට එය හේතුවන්නට ඇත. දැන් පෙනීයන්නේ සජිත් පාර්ශවය සහ ජන අරගල කණ්ඩායම ලංකා ඊ නිවුස් නිසත්, රනිල් පාර්ශවය සිරස නිසත් මීට කැපවීමෙන් සහභාගී නොවු බවයි.අවසානයේ සිදුවුයේ වෙනදා මෙන් නිදහස් හා සාමකාමී ලෙස උද්ඝෝෂණය දියත්වීමයි.අරගලය පුස් වෙඩිල්ලක් වුයේ එලෙසිණි.
මින් මාධ්‍යය සංවිධාන උකහා ගතයුතු පාඩමක් ඇත.එනම් යම් විරෝධතාවක් සංවිධානය කරන විට එක් එක් මාධ්‍යය ඉලක්ක නොකළයුතු බවයි.මන්ද පොදුවේ ගතහැකි මාධ්‍ය පවතින්නේ ස්වල්පයක් බැවිණි.එමෙන්ම මාධ්‍යය සදාචාරයට එරෙහි මාධ්‍ය වෙනුවෙන් පෙනී නොසිටීමටද මාධ්‍ය එකමුතු සංවිධාන මින් මතුවට අධිඨන් කරගත යුතුය.

No trackbacks yet.